Thursday 18 March 2010

රජුන් තැනීමේ කලාව සහ වහල්භාවය

තම මාළිගයේ සඳඵ තලයෙහි සිටගෙන හුන් කුමාරයා මාළිග අංගනයේ රැස්ව සිටි මහජන සමූහයට ආචාර ‍කොට උස් හඩින් ඔවුන් ඇමතුවේය.

"මා ඔබ හැම වෙත සුභාරංචි රැගෙන එන අතරම අපගේ දේශය වෙත ප්‍රීතිය ප්‍රකාශ කර සිටිනවා. කුමක් හෙයින්ද යත් රජ කුමරිය ම‍ගේ පරපුරෙහි උත්කර්ෂයත්, ගෞරවයත් ඉදිරියට ගෙනයාම සඳහා පුත්‍රයෙකු බිහිකර ඇති බැවිනි. ඔහු ඔබ සැමට ප්‍රීතියක්ද, අභිමානයක්ද වනු ඇත. මගේ උදාර මුතුන් මිත්තන්ගේ උරුමයට ඔහු හිමිකම් කියන්නෙකු වනු ඇත. ප්‍රීති වනු මැනව, ප්‍රශස්ති ගී ගයනු මැනව, කුමක් හෙයින්ද යත් අප මාළිගයේ මේ උරුමකරුවාට දැන් ඔබ සැමගේ අනාගතයද අයත්ව තිබෙන බැවිනි."

සෞභාග්‍යයේ තොටිල්ලේ ඇති දැඩි කිරීමටද, බල ක්ෂේත්‍රයෙහි ඉහළට නංවනු පිණිසද නියමිත කුමරාට ගෞරව පිණිස මහ ජන සමුහය උස් හඩ නංවා වා තලය ප්‍රීති ‍ඝෝෂාවෙන් පුරවාලීය. ඔහු වහලුන්ට ඉහළින් පරම පාලකයා වීමටද, තම ශක්තියෙන් දුබලයන් පලවා හැරීමටද නියමිතය. ඔවුන්ගේ සිරුරු දම්වැලින් බැඳ ඔවුන්ගේ ආත්ම විනාශ කර දැමීමට තරම් නිදහසක් ඔහුට ලැබීමට නියමිතය. ඔවුන් සතුටු වෙමින්ද, ගී ගයමින්ද, සොම්නස විතින් පානය කරමින්ද සිටියේ එවන් වූ කරුණක් පිළිබඳවය.

(ඛලීල් ජිබ්රාන්ගේ කඳුඵ බිඳක් සහ සිනහ බිඳක් කෘතියේ එන ‍කොටසකි. උපුටා ගත්තේ ආනන්ද අමරසිරි මහතාගේ පරිවර්තනයෙන් බව ගෞරවයෙන් සඳහන් කරමි.)

රජුන් තැනීමේ කලාව සම්බන්ධයෙන් ඛලීල් ජිබ්රාන්ගේ මේ අවධාරණය හරිම ස්වභාවිකය. ලෙබනනයේ උපත ලබා ඇමෙරිකාවේ ජීවත් වුවද ජිබ්රාන්ගේ සෑම නිර්මාණයක් තුලම ජනයා අවදි කිරීමත්,නිරුවත් සත්‍යම පෙන්වාදීමත්, ආත්මයෙහි සහ අධ්‍යාත්මයේ හරයන්ගේ වටිනාකම ඉස්මතු වීමත් දැකිය හැකිය.
උපදින්නට සිටින රජකුමරුන්ට පවා තම වහල් බව ප්‍රකාශ කිරීමට තරම් නිවට වන ජනයාගේ ස්වභාවය ඔහු උපේක්ෂා සහගතව විස්තර කරයි. ඒත් ජිබ්රාන් අපේ රටේ පුරවැසියෙක් නොවේ. එය අවාසනාවකි.

සැළලිහිණි සංදේශය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ උසස්ම කෘතියකි. උසස් සාහිත්‍ය ලක්ෂණයන්ගේ හෙබි මෙම කෘතිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියනුයේ එවකට කෝට්ටේ රජුගේ බිසවට පුත් රුවනක් ලබා දෙන ලෙස කරන ආයාචනයක් සංදේශයක් බවට පත්කරමිනුයි. (මගේ මතකය වැරැදිනම් නිවැරැදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි) රජුන් තැනීමේ කලාවට අපේ මහ සාහිත්‍යවේදීන්ගේ සම්මාදම එලෙසය. රජවරුන්ගෙන් සියවස් ගණනාවක් පුරා පීඩා විඳි අසරණ ජනතාව මුදාලීමට බෝසත්වරුන්, බුදු පසේ බුදුවරුන් පහළ කරන ලෙස ඉල්ලා නොමැත. තව දුරටත් නූපන් දරුවෙකුට කිරුඵ පළඳන්න, ඔහුගෙන් පාලනය වෙන්න ප්‍රාර්ථනා කිරීම කොතරම් වහල්භාවයක්ද?

අදටත් අපේ කලාකරුවන්ගෙන් බහුතරය එබඳුය. ජන හදවත් අවදි කිරීම වෙනුවට රජුන් තනන්න උරදීමත්, ඉන්පසු ප්‍රසස්ති ගායනා කිරීමත් ඔවුන් කරන්නේ රජවරුන් ළඟ දැවටෙන විට ආඩම්බරයක් දැනෙන නිසාය. පෙරළා රජුන්ගෙන් පැසසුම් ලබද්දී හිතට ලොකු ගැම්මක් දැනෙන නිසාය. තව රජුන්ගේ නොමසුරු තිළිණයන්ගෙන් පිදුම් ලබන්නට වරම් ලැබෙන බැවිනි. එසේම රජ දරුවන් වෙනුවෙන්ද ඒ ටිකම කිරීමටද ඔවුන් බලාගෙන හිඳියි.



3 comments:

  1. හිතන්නට යමක් එක්කරන සිතුවිල්ලක්.

    මාතෘකාවේ මුද්‍රණ දෝෂයක් තිබේ. :-) දුටුවාද?

    ReplyDelete
  2. ඇත්තෙන්ම..හිතන්න බොහෝ දේ ඉතිරි කරලා...

    ReplyDelete
  3. මතුපිටින් දෙයක් අතපත ගානා විට නම් ඔය කියන දේ හරිය.
    එහෙත් යථාර්ථය නම් හරිහැටි රජකු නොසිටි කාලයන් තුල නීතිය අතට ගන්නා වූ බොහෝ දෙනා නිසා සාමාන්‍ය මිනිසුන්ට රැකවරණයක් නොලැබීමයි. රජා කියන්නේ ජනතාව පෙලන දුර්දාන්තයකු යයිද, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සර්වෝත්තම දිය ලබ්බක් ලෙසද හිතා පවතින සමාජයට පිටින් ගුවන් අටල්ලක සිට බැලූ විට නම් එහෙම වන්නට පුලුවන. ප්‍රජාතන්ත්‍රවාදය නවීන ලෝකයේ දුෂ්ට රජුන් දහසකට වඩා දුර්දාන්ත විය හැක. සමහර රටක් සිය රට තුල ප්‍රජාතන්ත්‍රවාදී වුවද ලෝකය කෙරෙහි ක්‍රියා කරන්නේ පට්ට වනචරයන් ලෙසිනි. ප්‍රංශය ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුලු සෙට් එක කිසි හිරිකිතයක් නැතිව අන්තැනක ජීවිත වලට හානි පමුන්වන්නේ ඒ ප්‍රජාතන්ත්‍ර මගඩිඅට මුවා වෙලාය.
    ප්‍රජාතන්ත්‍රය විහිලුවක් කර එක පක්ශයකින් ඡන්දය ඉල්ලා අනිත් පක්ශයක බත් බැලයන් වීම ලෝකෙන් උතුම් රටේ ජයට කෙරෙයි.
    කොහොම වුනත් රජකු පාලනය කිරීම භයානක බව ඇත්තය. විශේශයෙන් රජකම පියාගෙන් පුතාට යාමද භයානකය. එහෙත් නූගත් හෝ අසංවේදී, 'තමන් පොර', සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ද එලෙසම භයානකය. මන්ද කිරි තැවරූ පාන් පෙත්තක් දුන් ඇසිල්ලේ ජහමනයා ඕන ලබ්බක තොවිලයකට කැමති නිසාය.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.