Friday 26 March 2010

පරමාර්ථ සත්‍යය

සර්ව බලධාරී හෙවත් විධායක බලතල හිමි මහ දෙවියෝ හැමදේම මැවීමටත් නැසීමටත් දෙව්ලොව මහනුභාව සම්පන්න ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල අත්තනෝමතික ලෙස යොදා ගනිමින් අවුල් වියවුල් සහිත ‍ලෝකය මවා අවසන මිනිසා මවාලීය. මේක අද ඊයෙ වෙච්ච දෙයක් නොවෙයි හැබැයි.

සියඵම උගුල් අටවා ඇති බවට සෑහීමට පත්වූවද මේ අලුත් මිනිසාගෙන් 'සත්‍යය' සඟවා තැබිය යුතු බවට ඔහුගේ කෛරාටික දෙවි සිතට වැටහින. ( ඕනෑම පාලන තන්ත්‍රයක් ඇත්ත වසන් කිරීම සම්ප්‍රදායක් බවට පත් කර ගත්තේ මෙම ආරම්භක පූර්වාදර්ශයෙන් පසුවය).

වැරදීමකින් හෝ මිනිසා සත්‍ය ස්පර්ෂ ක‍ලොත් දේවත්වය පවා ඉක්මවා යන බව සිහිපත් වෙද්දී මහ දෙවියෝ ගලේ පැහැරූ බළලෙක් මෙන් බලා ඉන්නට විය. එහෙත් තමන්ගේ මවා පෑමෙන් දෙව්ලොව පුරා සුවිසල් ප්‍රතිරූපයක් ගොඩනැගී ඇති සැටි දැක එයින් උදම් වී සිටි මහ දෙවියන්ට තම මවාලීම් විනාශ කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් බව සිතෙන්නට විය.

කෙසේ නමුත් (සැර) අමෘත විත පානය කරමින් දින ගණනක් දහ අතේ කල්පනා කල දෙවි උත්තමයෝ අවසානයේ මිනිසාට ස්පර්ෂ නොවන ලෙස 'සත්‍යය' සාගර පතුලේ හෝ ඈත වළාකුඵ ගොන්නක සැඟවීමේ තීරණයකට එළඹිණ. එසේ වුවද මෙය ජීවිතයත් මරණයත් අතර කාරණයක් විය හැකි බැවින් ව්‍යවස්වස්ථාවේ බලතල අමතක කොට ඉහ නිකට පැහුණු විද්වත් දේව සභාව හෙවත් කැබිනට්ටුව රැස් කර ඔවු‍න්ගේ අදහස් විමසීමට සිතීය. අනෙක එය දෙව්ලොව ප්‍රජාතන්ත්‍රවාදය තමන් සුරකින බවට එලොව වැසියන්ට ඒත්තු ගැන්වීමටද අවස්ථාවක් කර ගත හැකි බවද නොසිතුණා නොවේ.

විශ්වයේ තියුණු තීරණ ගැනීමේ බුද්ධිමත්ම සාමාජිකයින් දේව සභාව නියෝජනය කලේය. කොහොම නමුත් තමා විසින් සකස්කල කෙටුම්පත ඔවුන් ඉදිරියේ දිග හැරි මහ දෙවියෝ කාරණයේ තිබෙන බැරෑරුම් කම ඒත්තු ගන්වා 'සත්‍යය' මිනිසාගෙන් සැඟවිය යුතු සුදුසුම ස්ථානය පිළිබඳ දේව සභාවේ අදහස් විමසීය.

එහෙත් මහ දෙවියන් යෝජනා කල පරිදි සාගර පතුලේ හෝ වළාකුඵ ගොන්නක 'සත්‍යය' සැඟැවුවහොත් කෙසේ හෝ මිනිසා එය සොයා ගත හැකි බව වැඩි දෙනා තීරණය කල බැවින් ඒ පිළිබඳ සොයා කටයුතු කිරීමට දෙව්ලොව පුරා තම බුද්ධිමත්භාවයෙන් චිර ප්‍රසිද්ධිය ලත් දෙවි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිෂමක් පත් කරන ලදි.

(මදක් සැර) අමෘතය හැළි කිහිපයක් හිස් කරමින් දින ගණනක් රැස්වුණු කොමිෂම අවසානයේ මිනිසා පිළිබඳ සුවිසල් අධ්‍යයනයක් සිදුකොට 'සත්‍ය‍ය' ඔහුගෙන් සැඟවිය යුතු ස්ථානය තීරණය කර කොමිෂන් වාර්තාව මහ දෙවියන් වෙත ඉදිරිපත් කරලීය.

කොමිෂමේ සියඵ දෙනාගේම ඒකමතික නිර්දේශය වී තිබුණේ ලෝක‍යේ කොතැන සැඟවුවත් මිනිසා එය සොයා ගැනීමේ අවදානමක් පවතින බැවින් 'සත්‍යය' මිනිසාගේ අභ්‍යන්තරයේම සඟවා තැබීම සුදුසු බවය. ඇස් කන් ඇති මිනිසා අවට දුවමින් හැමදේම සොයනමුත් තමන් තුළ කිසිවක් නොසොයන බව තේරුම් ගත් මහ දෙවියෝ ඇතුඵ දේව කැබිනට්ටුව ඒකමතිකව කොමිෂන් නිර්දේශය සභා සම්මත කරලීය. ඒ අනුව එදින සිටම 'සත්‍යය' මිනිසා තුළම සැඟැවූ මහ දෙවියෝ සැනසුම් සුසුමක් හෙළීය.

මිනිසා තවමත් බාහිර ලෝකයේම සොයමින් සිටියි.



5 comments:

  1. අපූරු අදහසක්නෙ.....

    ReplyDelete
  2. නියමයි මචන්.
    රසවත් බව ඇතුලෙ හිතන්න දේවල් ගොඩක් සගවලා ලියපු ලියමනක්.
    සාපේක්ෂ සත්‍යයන් ගොඩක් තුළ හිරවෙලා ඉන්නව මිසක් පරම සත්‍යය කියන්නෙ මොකක්ද? එහෙම එකක් තියනවද කියල අපි අදටත් දන්නෙ නැහැ.

    ReplyDelete
  3. සත්‍යය පමණක් නොව දෙවියන්ද සැඟව සිටින්නේ මිනිසා තුලය.

    ReplyDelete
  4. සත්‍යය පමණක් නොව දෙවියන්ද සැඟව සිටින්නේ මිනිසා තුලය.
    සුළඟ

    ReplyDelete
  5. දැන් දෙයියන්ට තරු පෙනිලා ඇති. ඇයි ‍අපේ චමිල මල්ලී සත්‍යය ඇති තැන හෝඩුවාවක් හොයා ගෙන නොවැ. සුදු වෑන් කාරිය දැක්කොත් මුවා වෙනවා හොඳයි.

    කොහොම වුනත් මේක තමයි ඇත්ත. මිනිසුන් බොහෝ දෙනෙක් තව කාලයක් යන තුරු ලොව පුරා සත්‍යය සොයමින් ඇවිදියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.